මේ ගුරුවරු දෙන ආදර්ශ​

August 4, 2013 By dahamsev 0

මේ ගුරුවරු දෙන ආදර්ශ දරුවො අනුගමනය කළොත් අපේ රටට මොනවා වේවිද?

අනාගතේ බාර ගන්න ඉන්න අපේ දරුවන් රටක වටිනාම සම්පතයි. බුදුරජාණන් වහන්සේ ‘පුත්තා වත්ථු මනුස්සානං‘ යනුවෙන් දේශනා කළේත් ඒ නිසයි. ඇත්තෙන්ම දරුවන් රටට සම්පතක් වෙන්නේ යහපත් විදිහට හැදුණොත් විතරයි. කොහොමද යහපත් දරුවෙක් බිහිවන්නේ.

කිසිදු අයෙක් උපතින් බ්‍රාහ්මණයෙක් නැත්නම් වසලයෙක් නොවන බව බුදුරඡාණන් වහන්සේ දේශනා කළා. කොහොමද දරුවන් යහමඟටත් නොමඟටත් යොමුවෙන්නේ.

දරුවන් හොඳ නරක අඳුනා ගන්නේ ගුරු දෙගුරුන්ගෙන්. ඒ වගේම තමන්ගේ මිතුරන්ගෙන්.කොහොමද මවුපියන්ගෙන් හොඳ නරක අ‍ඳුනාගන්නේ. මවුපියන් කරන කියන දේ අනුව තමයි දරුවන් තමන්ගේ ජීවිතේ හැඩ ගස්වා ගන්න උත්සාහ ගන්නේ. මවුපියන් කරන කියන දේ බලාගෙන දරුවන් අනුකරණය පුරුදු වෙනවා. හොඳ වගේම නරක එතන තියෙන්න පුළුවන්.

තමන්ගේ ආච්චිටයි සීයටයි පොල්කටුවක කොළපොතක කන්න බොන්න දෙන හැටි දැකපු දරුවත් අම්මටයි තාත්තටයි කන්න බොන්න දෙන්න පොල්කටුවක් සුද්ද කරා. මේක අතීතයේ අපි අහපු කතාවක්. එ‍්කෙන් මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ. දරුවන්ට යහපත් ආදර්ශයක් ද ඒ මවුපිය දෙපළ ලබා දුන්නේ.

කොළඹ උසස් පාසලක ගුරුවරියක් තමන්ගේ ස්ථාන මාරුවකට විරෝධය පාන්න ඉස්කෝලෙ වහල උඩට නැංගා. මේව දකින දරුවන් මොනවද ඉගෙන ගන්නෙ. ඒ ගුරුවරියට අසාධාරණයක් වුණාද නැද්ද කියන්න දන්නේ නෑ. අසාධාරණයක් වුණා නම් ඒකට යන්න ඕන පාරක් ක්‍රමයක් තියෙනවා. වහළට නඟින එකද විසඳුම. කොහාමද ඒ ගුරුවරිය ආයිත් දරුවන්ට උගන්වන්න යන්නෙ.

ඒ වගේම තමයි තවත් සමහරු වැඩි පඩි ඉල්ලලා වර්ජනය කරනවා. හුඟක් වෙලාවට මේ වර්ජන කරන්නේ විශාල වැටුප් අතිකාල ගන්න අය. පහුගිය දවස්වල මාධ්‍ය මඟින් ඒ බව පැහැදිලිව පෙන්නුම් කළා. දරු දැරියො මේව හොඳට දන්නවා.

තමන්ගේ අම්ම තාත්ත ගන්න වැටුප ගැන එයාල දන්නවා. මේතරම් වැඩි වැටුපක් අරගෙන කරන වර්ජනය මොකක්ද කියල ඒ දරුවන්ටත් ගැටලුවක් සමහර වෙලාවට එයාලම අහනව ‘ඇයි තාත්තෙ ඔය තරම් පඩියක් අරගෙනත් ස්ට්‍රයික් කරන්නේ‘ කියලා.

මොකක්ද දෙන උත්තරේ. ‘ මේව ඔයාලට තේරෙන්නේ නෑ, අපිට අසාධාරණ වෙලා තියෙන්නේ. වැටුප් විෂමතා තියෙනවා‘ ඕක තමයි උත්තරේ.

දරුවො දන්නේ නෑ වැටුප් විෂමතා මොනවද කියල. ඒ වුණත් පඩියෙ ගාන හුඟක් දරුවො දන්නවා. අනිත් අයට වඩා වැඩි වැටුප් තමන්ගේ අම්ම තාත්තට ලැබෙන බව එයාල දන්නව.

එතකොට තමන්ගේ අම්ම තාත්තල කරන වර්ජන තර්ජන සාධාරණ නැහැයි කියලත් දරුවො දන්නව ඉතින් දරුවො මොනවද වැඩිහිටියන්ගෙන් ඉගෙන ගන්නේ. විශේෂයෙන්ම අප තේරුම් ගත යුතු වැදගත්ම කරුණ වන්නේ කනට ඇසෙන දේට වඩා ඇසට පෙනෙන දේ ගැන දරුවන් විමසිලිමත් වන බවයි. එවන් දේ අත්හදා බැලීමට උත්සාහ කරන බවයි. තමන්ගේ ඉල්ලීම් නොලැබුණ විට කුමන

හෝ ආකාරයෙන් ඒවා ලබා ගැනීමට දරුවන් උත්සාහ ගන්නේ ඔවුන් දකින මෙවන් වැරැදි ආදර්ශයන් නිසයි.

දරුවා වරදින් මුදවා යහපතෙහි යෙදවීම කළ යුතු වන අතර ඔහු හෝ ඇය වැඩිහිටියෙක් බවට පත් වූ විට සමාජයට තනිව මුහුණ දීමට හුරු කිරීම ඉතාම වැදගත් බව මවුපියන් තේරුම් ගත යුතුයි. අද අපේ සමාජයේ ආදර්ශයට ගන්න පුළුවන් අය අඩුයි. ඒක නිසා ‘අහවලා වගේ හැදෙන්න‘ කියන්න අම්මට තාත්තට හැකියාවක් නැහැ.

පාරෙ තොටේදි හමුවෙන අත පය නැති අය පෙන්නල දරුවන්ට ආදර්ශ දෙන්න පුළුවන් යුගයක් ඉස්සර තිබුණා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා. පාර පනින්න වැඩිහිටියකුට අත දෙන දරුවෙක් දිහා බලන්නේ අමුතු විදිහට.

සමාජ පරිහානිය කිය කියා අහක බලාගෙන ඉදල හරියන්නෙ නෑ. අපේ දරු පරපුර නිහඩ ඛේදවාචකයකට මුහුණ දීල තියෙන්නේ. අපි කතා කරන්න අකමැති වුණත් ඇත්තට අපි මුහුණ දෙන්න ඕන. ජනාධිපතිතුමා දරුවන්ට කොයිතරම් ආදරේද කියල හිතල බලන්න.

දේශපාලන වාදභේද නෙමෙයි අපි හිතන්න ඕන, අපේ දරුවන්ගේ අනාගතය හදන්න වැඩපිළිවෙළක් ගැන හිතන්න ඕන. ඉස්සර හැම ගමකම තරුණ සමාජ, ළමා සමාජ, විවිධ සමිති සමාගම් තිබුණා. අද සමිතියක් පිහිටුවන්න දරුවො තුන් හතර දෙනෙක් හොයා ගන්න කොයිතරම් අමාරුද?

කාගෙද වැරැද්ද? දරුවන්ගේ නෙමෙයි. මවුපිය දූදරු ඇසුර ඈත් වෙලා කියල අද කියන්නේ. ඈත් වෙන්න තරම් මවුපිය දූදරු සබඳතා තියෙනවද කියන එකත් අද ප්‍රශ්නයක් වෙලා. අම්මයි තාත්තයි දෙන්නම රැකියාවට යනවා. දරුවො දවස තිස්සෙම ගෙදර තනියම, නැත්නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල, සෙනසුරාදා, ඉරිදා දවස්වලටත් දරුවන්ට පන්ති, අම්ම තාත්ත එක්ක ටිකක් කතා බහ කරන්න, තමන්ගෙ පාසලේ තොරතුරු කියන්නවත් වෙලාවක් නැහැ.

අඩුම ගානෙ එක කෑම මේසෙ කන්න බොන්න වෙලාවක් තියෙනවද? පවුල පුංචි වෙලා, තාප්පෙකින් වටවෙච්ච න්‍යෂ්ඨික පවුලක් අද බිහිවෙලා තියෙන්නේ. අහල පහළ අය එක්ක ඇසුර අඩුයි. අවවාදයක් දෙන්නවත් වැඩිහිටියෙක් ගෙදර නැහැ. අතීතියේ තිබුණ ආච්චි සීයා නැන්දා මාමා අද පවුලට සම්බන්ධ නැහැ. ඒ අය දකින්නේ ඉස්කෝලෙ නිවාඩු කාලෙට ගමේ ගියහම විතරයි. අද නගරබද ප්‍රදේශවල මරණෙකටවත් අද පවුලක කට්ටිය එක් රැස් වෙනව අඩුයි.

දරුවන්ට වෙනම අමාත්‍යාංශයක් පවා අද වෙන් කරල තියෙනවා.

දරුවන් හොයා ගෙන ගිහින් එයාලගෙ වැඩ කරන්න රජයට පුළුවන් කමක් නැහැ. ඉස්සර තිබ්බ වැවයි, දැගැබයි, ගමයි පන්සලයි සංකල්පය ආයිත් බිහි කරන්න ඕන. අඩුම වශයෙන් ගිහි පැවිදි සංකල්පයවත් අඛණ්ඩව නොබිඳී පවතින්න ඕන. ජපානය වගේ රටවල් ලංකාවෙ දියුණුව බලලා සතුටු වෙනවා. ආධාර උපකාර පවා කරනවා. ලංකාවෙ දරුවන්ට උපකාර කරන්න අපිත් කැමතියි.

ලංකාවෙන් බිහිවෙච්ච ‘දහම් සෙවණේ සිඟිත්තෝ ‘ළමා සමාජ අද ලෝකයේ දියුණු හැම රටකම පැතිරිලා ගිහින්. ජපානය, එංගලන්තය, මියැන්මාරය වගේ රටවල නායකයො පවා මේ ළමා වැඩසටහන් ඇගැයීමට ලක් කරනවා. ඒ දරුවන් අතේ රටේ අනාගතේ තියෙන බව දන්න නිසයි.

දරුවන්ගේ සංවර්ධනය රදා පවතින්නේ සුවිසල් ලෙවල් වල නැත්නම් දරුව ලොකු ඉස්කෝලෙකට යන එකෙන් නෙමෙයි. දරුවන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. ඉස්සර නම් ඒකට බාධා තිබුණ කියල හිතන්න පුළුවන්. ඒත් දැන් රටේ ඒ වගේ තත්ත්වයක් නැහැ. වෙනස හොඳට පේන්නෙ විදේශ රටක ඉදල බලනකොටයි.

ලංකාව පුරාම තිස් අවුරුද්දක් පුරා තිබුණ ත්‍රස්තවාදී භීෂණ සමය ඉවරයි. දැන් හමුදාවත් රටේ සංවර්ධනයට එකතු වෙලා ඉන්නේ. සුනාමියෙන් ඉක්මනින් නැගිටලා ආපු රටවල් අතර ලංකාව පෙරමුණේම ඉන්නවා.

සම්පූර්ණයෙන් විනාශ වෙච්ච මුහුදුබඩ දුම්රිය මාර්ගය හදන්න අපට ඕන වුණේ දවස් 57 ක් විතරයි. ඒ කියන්නේ අපි තවමත් පරක්කු නැහැ කියන එකයි. අපේ එකමුතුකම තියෙනවා. හැකියාව තියෙනවා. ඕන කරන්නේ මේ සියලු දෙනා එකට එක්වීමයි.

ලංකාවෙ ඉදල විදේශ රටක ඉන්නකොට මේ වෙනස හොඳට පේනවා. ලංකාව ගැන තිබුණ වැරැදි චිත්‍ර දැන් හුඟක් මැකිලා යනවා. අපේ අතීත ශ්‍රී විභූතිය බලන්න විදෙස් සංචාරකයො ඇදී එනවා.

ඒ අය ලංකාව ගැන පිටරට ගිහින් ලබාදෙන චිත්‍රය හොඳ එකක් වෙන්නනම් අපේ අනාගතය බාර ගන්න ඉන්න ළමා පරපුරට ආදර්ශවත් වෙන විදිහට පරිසරය හැඩගස්සන්න ඕන වෙනවා.

විදෙස් රටවල අත පෙවීම් නවතින්නෙ අපේ රට ගැන සංචාරකයො ලබා දෙන නිවැරැදි චිත්‍රවලින්.

පොදු රාජ්‍ය මණ්ඩල නායකයන්ගේ සමුළුව අපේ රටේ පවත්වන්න ලැබීම කොයිතරම් වාසනාවන්තද කියල අප තේරුම් ගන්න ඕන.

බටහිර රටවල් කීයක් මේ තත්ත්වය වළක්වන්න උත්සාහ කරාද? ඒත් ජනාධිපතිතුමාට ඒ වාසනාව අපේ රටට අරගෙන දෙන්න පුළුවන් වුණා. ඒ තත්ත්වය දිගටම රැක ගන්න නම් දරුවන්ගේ අනාගතයට බාධා වෙන විදිහට හැසිරෙන්න එපා කියලයි ඉල්ලන්න තියෙන්නෙ.

ඉල්ලීම් දිනාගන්න ගස් උඩට වහළ උඩට, වතුර ටැංකි උඩට නඟින එකවත් අහිංසක රෝගීන්, මඟීන් බිල්ලට දෙන එකවත් කිසිම ආගමක අනුමත කරල නැහැ කියල විශේෂයෙන්ම මතක තියා ගන්න ඕන.

ජපානයේ නරිතසන් ජෝසෝජි විහාරාධිපති දහම් සෙවණේ සිඟිත්තෝ නිර්මාතෘ සුදුහුම්පොළ විමලසාර හිමි