ධර්ම සංගායනාව වචනයට සීමා වෙලා

March 13, 2013 By dahamsev 0

වර්තමානයේ ඇතැම් භික්ෂුන් වහන්සේ ගිහියන් මෙන් විවිධ ධනෝපායන මාර්ග සකස් කර ගැනීම සම්බන්ධව මේ වනවිට දැඩි විවේචනයට ලක්ව තිබේ. මේ කරුණ සම්බන්ධව ‘දහම් සෙවණෙ සිඟිත්තෝ’ ළමා පදනමේ නිර්මාතෘ සුදුහුම්පොළ විමලසාර හිමියන් දැක්වූ අදහස් මෙසේ පෙළගස්වමි.

* භික්ෂුන් වහන්සේ මුදල් ඉපයීම බුදු දහමට පටහැනි ක්‍රියාවක් ද?

භික්ෂුවක් මුළුතැන්ගෙයි කටයුතු කිරීම ගැටලුවක් නොවෙයි. එය එක් එක් භික්ෂුවකගේ පෞද්ගලික දෙයක්. ඒ වගේම එය පසේ බුදු වීමට හෝ නිර්වාණයට බාධාවක් වෙන්නේ නැහැ. පන්සල පිරිසුදු කර ගැනීම, උයා පිහා ගැනීම භික්ෂුවට අකැප නැහැ. මුදල් පසුපස යාමකට වඩා ප්‍රථමයෙන් ම භික්ෂුවකට දානය, ඇඳුම්, පන්සලේ විදුලි බිල්, ජල බිල් ගෙවා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනා. එවැනි ක්‍රමයක් නොමැකි වූ විට තමයි භික්ෂුන් වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර, බලිතොවිල් කිරීමට හා සෙත් කවි හදන්න පෙළඹෙන්නේ. ඒ නිසා මම හිතන්නේ සංඝ නායත්වයක් මඟින් මේ ඇත්තන්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක් සකස් කරදී ආදායමක් ලැබෙන ක්‍රමයක් තිබෙනවා ඉන් එහාට යන්න එපා කියන පණිවිඩය ලබාදිය යුතුයි. එසේ නොමැති වුවහොත් අපේ ආගමට ප්‍රශ්න ඇතිකර ගන්නේ අපිම වෙන්න පුළුවන්.

* අතීතයේ පටන් භික්ෂුන් වහන්සේ යැපුනේ ගිහියන් ලබාදෙන දානයෙන්. ඔබ වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ක්‍රමය නිවරැදි නොවන බව ද?

එය 100% නිවරැදියි. අපේ දායකයෝ නිර්මාණය වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් උපස්්ථාන කරනවා කියන හැඟීමෙන්. ඉස්සර අපිට ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියලා සංකල්පයක් තිබුණා. නමුත් අද පුද්ගලයන් ඉන් එහාට ගොස් පෞද්ගලිකත්වයක් ගොඩනඟාගෙන තිබෙනවා. ඒ නිසා බොහෝ ගිහියන් පන්සලෙන් ඈත් වෙලා. එය එක තත්ත්වයක්.

ඒ වගේම ඇතැම් භික්ෂුන් වහන්සේ ඒ ඒ අයට ආවේණික බුදු දහමක් හදාගෙන තිබෙනවා. එයා වටා අනුගාමික පිරිසකුත් ගොඩනැඟෙනවා. එම නිසා එවැනි භික්ෂුන් සැප සම්පත් සොයාගෙන යනවා. මේ හේතුව නිසා අවුරුදු ගණනාවක් තිස්සේ බුලත් කොටමින්, මතක බණ කියමින්, සාංඝික දාන කරපු හාමුදුරුවරු තනි වෙනවා.

මේ ගැටලුව නිසා සිව්පසෙන් උපස්ථාන කරන එකම පිරිසට දෙපැත්තකට යන්න සිදු වෙලා. දායකයා කියන්නේ දරුවන් හදන, ඔවුන්ට උගන්වන, ඥාති වර්ගයාට යුතුකම් ඉටු කරන පිරිසක්. ඔවුන්ට මේ කටයුතු අතර පන්සල් දෙක තුනකට උදව් කරන්න අමාරුයි. අපේ භික්ෂු සමාජයේ අද සංවිධානාත්මක තත්ත්වයක් නැහැ. ඒ නිසා තමයි පුපුරා ගොස් තිබෙන්නේ.

* මේ තත්ත්වය නිවැරැදි කරන්න කළ යුත්තේ කුමක් ද?

මේ දේවල් නවත්වන්න කට වචනයෙන් බැහැ. කොපමණ ලිපි ලිව්වත් ඵලක් වෙන්නෙත් නැහැ. ඇතැම් අය කියනවා සංගායනාවක් කළ යුතුයි කියලා. මෙවැනි අදහස් ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා නියම නායකත්වයක් ගතතයුතු කාලය එළඹ තිබෙනවා. යම් කෙනෙක් නායකත්වයකට පැමිණියහොත් ඔහු තමන් ගේ ජීවිතය හදාගෙන ඉවත් වෙනවා. ජාත්‍යන්තර භික්ෂුවක් ලෙස අපිට මේ තත්ත්වය පිළිබඳ දුකයි.

ඒ වගේම ගිහියන්ටත් මෙහිදී විශාල වගකීමක් පැවරෙනවා. දකින දකින බුදුවරු පස්සේ දුවන්න එපා. දකින දකින ශාස්තෘවරු පස්සේ දුවන්න එපා. අපිට සැබෑ දහමක්, නිවන් මාර්ගය පෙන්වා දුන් උතුම් ශාස්තෘවරයෙක් ඉන්නවා. අපි උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කළ හොත් කවදාවත් සැපයක් මිස දුකක් ඇති වෙන්නේ නැහැ.